Saturday, February 28, 2009

නිදහස් කේථ මෙහෙයුම් පද්ධතියක් කරා පිය මැන්නෙමි...

ඊයෙ මම තීරණය කරා Windows Vista ට අමතරව වෙනත් මෙහෙයුම් පද්ධතියක් ගැන ටිකක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.ඉතින් මම හිතුව Linux මෙහෙයුම් පද්ධතිය දා ගත්තොත් හොඳයි කියලා.අපේ බ්ලොග් ලියන යාලුවො හුඟ දෙනෙක් Linux වල විවිද ප්‍රබේධ භාවිතා කරනවනේ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.උදව්වට යාලුවො ඉන්න නිසා Linux වර්ග කීපයක්ම බා ගත්තා.(Fedora,Ubuntu,Kubuntu,Puppy,Debin,Mandriva,PC Linux,Suse,Foresight,Sabayon)දැං ඉතින් Linux වර්ග කීපයෙන් මොකද්ද මට ගැලපෙන්නේ....මොකද කියනවනම් ඉතින් මම Linux වලට කෝඩු කාරයනේ...කෝඩු කාරය කිව්වට කෝඩුමත් නෑ.දැනට අවුරුදු3,4 කට කලින් මම Red Hat Linux CD 3 ක් අරන් ස්ථාපනය කරන්න ගිහින් තිබුනු Windows Xp ත් නැති උනා...හාඩ් ඩිස්ක් එක වෙන ෆයිල් ෆොඉමැට් එකකට මාරුවෙලා නිසා ආයෙමත් Partition ලිහල NTFS විදිහට Format කරල තමයි ගොඩ දා ගත්තේ.ඊට පස්සේ Linux දිහා බැලුවෙවත් නෑ.ඒත් මේ අපේ බ්ලොග් ලියන යාලුවො රස කර කර Linux ගැන කියන කොට මටත් නිකන් කිචි වගේ.ඉතින් මාත් බැස්සා Linux වලට.මේ වැඩේට හැමදාම වගේ මම උපදෙස් පැතුවෙ සමීර ශාකුන්තල සොයුරාගෙන්.
සමීර කියන්නේ ඕනම වෙලාවක මම නොදන්න දෙයක් කියල දෙන නියම කල්‍යාණ මිතුරෙක්.තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි දන්න දෙයක් තව කෙනෙකුට කියා දෙන හිත හොඳ කොල්ලෙක්.සමීර මට Virtual Box එකේ තියන උබුන්ටු අයින් කරන විදිහයි,මට ගැලපෙන Linux එකක් තෝර ගන්න විදිහයි,ඒවට සිංහල දාන විදිහයි තව සෑහෙන දේවල් කියාදුන්නා....මම Linux වලට අලුත් නිසා ඉදිරියේදිත් සමීර සොයුරගෙන් උදවු ඉල්ලන්න වෙයි සමහර විට.කොහොම හරි අන්තිමට මම මගේ Laptop එකේ Vista තියන Partition එකෙන් 20GB කෑල්ලක් කඩලා දැම්මා Kubuntu Linux 8.10. XPදානවටත් වඩා ලේසියෙන්, ඉක්මනින් ස්ථාපනය වුනා.වැඩ කෑලි ගොඩයි.ඩෙස්ක්ටොප් එකේ අයිකන නම් පේන්න නෑ.ටිකක් අවුස්සද්දී හම්බවෙයි.පෙනුම නම් මාර ගති.
Youtube එකේ මම දැක්කා Folder නම්යශීලි වෙනවා...ඩෙස්ක්ටොප් 4ක් ඝනකයක් විදිහට පෙරලනවා... Leopard OS වල වගෙ ඩෙස්ක්ටොප් ටූල් බාරයක් තියනවා...Desktop එක Animate වෙනවා....තව තව වැඩ ගොඩයි.තාම ඒවා එකක්වත් හම්බුනේ නෑ.ටිකක් හොයල බලන්න ඔනි.මම අන්තර් ජාලයට යන්නේ wifi වලින්.තාම ඒකත් වැඩ නෑ.ඒකනම් නැතත් අවුලක් නෑ.වයර් ඒක ගහගෙන යන්න පුලුවන්නේ.වයර් එක ගහපු ගමන්ම අන්තර්ජාලයට ඉබේම ගියා.Skype බා ගෙන දා ගත්තා.මට හම්බුනේ පරණ එකක්ද මන්දා Video Call එහෙම Skype වල පේන්න නෑ.මෘදුකාංග වල නව යාවත් කාලීනයන් තියනවා කියලා පනිවිඩයක් ආවා.අත පත ගාලා කොහොම හරි 299Mbක යාවත් කාලීනයන් ස්ථාපනය කරා.සමීර සොයුරා Shiretoko දාන හැටි ලියල තිබුනනෙ බ්ලොගේ.ඒකෙන් බලලා දාගන්න පුලුවන් වෙයි.ටික ටික ඔහොම ගිහින් බලමුකෝ..මම මේ බ්ලොග් එක ලියන්නේ කාර්යාලයේ පරිගනකයෙන්.ලඟදීම කුබුන්ටු වල ඉඳන් සිංහල බ්ලොග් ලියන්න පටන් ගන්නව.Linux වලට මාව උනන්දු කරපු ඔබ සැමට ස්තුත්යි...


Publish Post

.

Tuesday, February 24, 2009

තව ටික දිනයි....

මේ ටිකේ මම ටිකක් විතර අවිවේකයි.රාජකාරී වැඩ ටිකකුත් වැඩියි.ඒත් මේ දවස් වල මාර සංතෝසෙන් ඉන්නෙ.මොකද කියනවනම් ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා.....ඉතින් මේ ටිකෙ ෂොපිං යනවා...බඩු ගේනවා....බඩු අහුරනවා....එක විකාරයයි.කොටින්ම කියනවනම් මම නැවතිලා ඉන්න කාමරේ කුණු ගොඩක් වගේ වෙලා.ටික ටික අස් කරනව...දැන් ඉතින් ඉවසිල්ලක් ඈ ගෙදර යන්න.දැන් අවුරුදු 1 1/2 වෙනව ඩුබායි වලටඇවිත්.ගියපාර මට නිවාඩු හම්බුන වෙලාවෙ මම ලංකවට ගියේ කාටවත් නොකියා....ගෙදර අය පුදුම කරන්න කියලා හිතාගෙන.ඒ අය පුදුම උනාට වඩා මට හොඳටම බැනුම් අහන්න උනා.ඉතින් ඒක නිස මේ පාර නම් කලින්ම ගෙදරට කිවුවා මම එන දවස.
මගේ ගම බලංගොඩනේ...
හුඟ කාලෙකින් දැකපු නැති අම්මයි තාතවයි දකින්න, සහෝදරියො දකින්න, කෙල්ලව දැකගන්න, ‍යලුවො සෙට් එක දැක ගන්න,නෑදෑයො දකින්න,ගමේ කොල්ලො ටිකත් එක්ක ගම වටේ රවුම් ගහන්න, ගෙවල් ලඟ තියන දිය ඇල්ලෙ මහ වළට පැනලා නා ගන්න, උදේට එහා මෙහා පේන්නෙ නැති තරම් ඝන මීදුම දකින්න, මීදුම අස්සෙන් ඉර එලිය වැටෙනව දකින්නන්, නිතරම වැටෙන චුරු චුරු පොද වැස්සේ ටිකක් තෙමෙන්න, වත්ත පුරා පහුරු ගගා කෑම අහුලං කන වලි කුකුල්ලු රංචුව දකින්න, පොල් පැලයක කුරුම්බැට්ටියක් වත් ඉතුරු නොකර කන ඳඬු ලේන්නු ටික දකින්න, දැන්නම් තියෙන්නේ පුදුම ආසාවක්.දැන් ඉවසිල්ලක් නෑ....ගමේ විතරක් නෙමේ මම වැඩි කාලයක් හිටපු ගම්පහ ගිහින් ඉස්ටේෂමේ චාටරයක් ගනන්න, මගේ හොදම යාලුව සිදත් ඒක්ක උගෙ බයිසිකලේ රවුම් ගහන්න, කෙටවල ඇනිකට් ඒකේ බැහැලා නාන්න, ගම්පහ හවසට පන්ති ඇරෙන වෙලාවට යාලුවොත් එක්ක සෙට් වෙලා කෙල්ලො බලන්න, හවසට සෙට් වෙලා බැඩ්මින්ටන් පාරක් ගහන්න,.....අම්මෝ...මතක් වෙනකොට ඉන්න බෑ ...නලියනවා...තව දවස් 6 යි නේ...

මම හිතාගෙන හිටියේ මේ පාර ලංකාවට එනකොට යුද්ධය නැවතිලා කොටි හැතිකරය ඉවර වෙලා තියෙයි කියලා...මගේ පැතුම සියයට සීයක් ම ඉටු නොවුනත් සෑහෙන්න දුරකට ඉවර වෙලා තියන එක ගැන හරිම සතුටුයි.අපේ වීර සෙබලුන් දිවා රෑ නොබලා රට රකින නිසානේ අපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.ඔවුන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද දෙන ගමන්ම මගේ මාතෘ භූමියට ඉක්මනින්ම සාමය උදා වේවා කියලා ප්‍රාර්තනා කරනවා....

Wednesday, February 11, 2009

උතුම් මිතුරා



මම පාසැල් ගිය අවදියේ ඉතාමත් කුලුපග මිතුරෙක් සිටියේය.ඔහු මෙතැන් සිට "ගයා" කියා හන්දුන්වමි. ගයා අධ්‍යාපනය ලැබුවේ කොළඹ තිබූ සුප්‍රසිද්ධ පාසැලකටය.මා මිතුරා ලංකාවේ ප්‍රසිද්ධ පවුලක සාමජිකයෙකි. ඔහුත් මමත් මගේ මිතුරු කැලත් නිතරම පාසැල් ගියේ එකටමය.ඒ උදේ 6.45 දුම් රියෙනි, නැත්නම් පාසැල් බසයෙනි. මගේ මේ මිතුරා අධ්‍යාපනයට සැබෑ දක්ශයෙකි.(හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමෙයී). අ.පො.ස ( උ.පෙල ) විභාගයෙන් අති විශිශ්ට ලෙස සමත් වූ ඔහුට A සාමාර්ත 3 ම තිබුනි.එම වසරේ ලංකවේ උ.පෙල. ගණිත අංශයෙන් තෙවනි ස්ථානය ගයා ට හිමි වුනි. ඉංජිනේරු පීඨයට යෑමට සුදුසුකම් උවමනාවටත් වඩා තිබියදී මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යාව හැදෑරීම ඔහු තෝරා ගත් උසස් අධ්‍යාපන මාර්ගයයි.ඔහු විශ්ව විද්‍යාලයේ සෑම වසරකම විශිෂ්ඨ ලෙස ප්‍රථිඵල පෙන්වමින් ඉතා ඉහලින් සමත් විය.මා දන්නා තරමින් ඔහු එම පීඨයේ දක්ෂතම සිසුවා ලෙසද තේරුණි. කෙතරන්ම් අධ්‍යාපන අතින් ඉහලට ගියත් කිසි දිනෙක තම මිතුරන් අමතක නොකල ඔහු හැමදාමත් සරල ජීවිතයක් ගෙවූ ගයා ම විය.

විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූ පසු ගයා තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගත්තේය.ඒ පරිගනක මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාන කරනය ආයතනයක් ලෙසටය.ඔහුගේ ව්‍යාපරය ඉක්මනින්ම දියුනු විය.ශ්‍රි ලංකවේ පමනක් නොව පිටරටවලින් පවා ඔහුට වෙබ් අඩවි තැනිමට ඇනවුම් ලැබුනි.ලංකවේ ඇති සුප්‍රසිද්ධ වෙබ් අඩවි ගනනාවක් ඔහුගේ දෑතින් නිමවිය. ඔහු තරම් බුද්ධිය ඇති කිසිවෙකු මේ දිවියේදේ මා ඇසුරු කර නොමැත.


ඒත් මීට මාස කීපයකට කලින් මා හට ආරංචි වුනු දෙයකින් මා එකවරම සසල උනි. එදා සිටි "මචං ගයා" අද නැත. දස දහස් ගනන් පරිගනක කේත අන්තර්ජාලයට මුදා හල ඔහු අද තම ජිවිතයේ ඉපදීම, මියයෑම, නැවත ඉපදීම, නැවත මියයෑම යන සාංසාරික අවුල්ජාලයට පිලියමක් සොයා ගැනීමට වෙර දරයි.එදා තම දෑත් අතොරක් මෙතොරක් නොමැතිව පරිගනක යතුරුපුවරුව මත දිව වූ ඔහු අද තම දෑත් ඉතා සන් සුන් ලෙස එක මත එක තබා වණගත කුටියකට වී, අතොරක් මෙතොරක් නොමැතිව දසත යන සිත සමාධි ගත කරගැන්මට වෙහෙසේ... එදා මා මිතුරු ගයා අද "ගම්පහ යෝගානන්ද" ස්වාමීන් වහන්සේය.උන් වහන්සේ මේ වන විට තරමක් ඈතින් පිහිටි වනගත අරණක මහණ දම් පුරණ සේක.උන් වහන්සේ කෙරේ මාග් පැතුමනම් මේභවයේ දී ම උන් වහන්සේට සසර මඟ කෙලවර කොට තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් දෙසූ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවා යන්නයි.


එක් වරම උන් වහන්සේ ගැන ඇසු සැනින් මා හද සසල වූවත් පසුව මා ඒ පිලිබඳව අප්‍රමාණ සතුටට පත් වීමි.මා මේ ලිපිය ලියා තබනුයේ උන් වහන්සේ කෙරේ මා සිත ඇති වූ අප්‍රමාන වූ භක්තිය නිසාමය.මා උන් වහන්සේගේ ගිහි නම මෙහි සඳහන් නොකලේ ඉන් උන් වහන්සේට කිසි යම් හෝ අවැඩක් සිදු වේ යැයි බියෙනි.මෙම ලිපියෙන් උන් වහන්සේට අබමල් රේණුවක හෝ අගෞරවයක්, අවැඩක්, සිදුවී නම් සිය දහස් වරක් සමාව අ‍යැදිමි.අන් සියලු මල් වලට වඩා ඉහලින් පිපී සුවඳ විහිදුවනා උඩවැඩියා මලක් සේ,අප ධර්ම ද්වීපයේ දහම් සුවඳ පතුරුවාලීමට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලබේවා....