Thursday, July 7, 2011

තමාගේම නිවසක සිහින දකින ඔබට...(6 කොටස )


අද මම ඔබට කියන්න යන්නේ නිවාස සැලසුම් සහ නිවාස වර්ග ගැන.මේ ලිපිය කියවීමෙන් පසු ඔබට අවශ්‍යතාවයට අනුව කුමන විදිහේ නිවාසයක්ද ඔබට අවශ්‍ය කියලා තේරුම් ගන්න පුලුවන් වෙයි.ප්‍රධාන වශයෙන් නිවාස වර්ග 2 කි.

1.තනි මහල් නිවාස
2.මහල් කීපයකින් ඇති නිවාස.

ඔබට නිවසක් තැනීමේ අවශ්‍යතාවය ඇතිවුන ගමන්ම තීරණය කරගන්න අවශ්‍ය තනි තට්ටුවේ නිවසක්ද නැතිනම් මහල් දෙකක හෝ මහල් කීපයක නිවසක් ද කියලා...එක පාරටම ඔබට ඒ තීරණය ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්.මම තේරෙන සින්හලෙන් මට පුලුවන් උපරිමවෙන් තේරුම් කරලා දෙන්නම් මේ නිවාස වර්ග දෙකේ වාසි සහ අවාසි ගැන.මුලින්ම තනි තට්ට්ටුවේ නිවාස ගැන හොයලා බලමු.

1.තනි මහල් නිවාස
තනි මහල් නිවාස කියන්නේ තනි තට්ට්ටුවේ ගෙවල් වලටම තමයි.ලංකාවේ බොහෝ විට දක්නට ලැබෙන්නේ මේ වර්ගයේ නිවාසයි.ලෝකේ කොහේ හැදුවත් බොහෝවිට ගෙවල් වල තියෙන්නේ එකම කොටස් ටිකක්.ඒ කියන්නේ විසිත්ත කාමරය (Living Room),ආහාර ගන්නා ස්ථානය (Dining room),මුලුතැන් ගෙය (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්,නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet) හෝ කීපයක් ප්‍රධාන වශයෙන්ද, අවශ්‍යතාවයන්ට අනුව වාහන නැවතුමට ගරාජයක්,මැද මිදුලක්,කාර්යාලීය කාමරයක්,වැරන්ඩා,නාන තටාක ආදිය ඇතුලත් කර ගත හැක.මේ සියලුම දේවල් හරි කීපයක් හරි තනි හෝ මහල් නිවාස වලට ඇතුල් කරන්න පුලුවන්.ඒත් ඊටපෙර මේ දේවල් ගැන හිතන්න ඕනි.

  • තනි මහල් නිවසක් වඩාත් සුඩුසු වන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකටයි.එහෙම කියන්නේ අද වන විට තියන අමුද්‍රව්‍ය වල මිල සහ සේවක කුලී ගැන සැලකීමෙන්.සාමාන්‍යයෙන් ලක්ශ 20~25 ක් විතර මුදලකින් සාමාන්‍ය මට්ටමේ විසිත්ත කාමරයක් (Living Room),ආහාර ගන්නා ස්ථානයක් (Dining room),මුලුතැන් ගෙයක් (Kitchen or Pantry),නිදන කාමර (Bed Rooms) කීපයක්(2~3), නාන කාමරයක් සහ වැසිකිලියක්(Bath Room /Toilet),ගරාජයක්, වැරන්ඩාක් වැනි අංග ඇතුලත් සම්පූර්ණ තනි තට්ටුවේ නිවසක් ඉදි කරගන්න පුලුවන්.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ තරමක් විශාල ඉඩමකට.අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය සියලු අංග පොලොව මතුපිට ස්තාන ගතකල යුතු නිසා පර්චස් 15 ට වඩා වැඩි ඉඩම් මේ සඳහ සුදුසු වේ.
  • තනි මහල් නිවසක් වඩාත් සුදුසු වන්නේ අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වලට.එහෙම කියන්නේ නාගරික ප්‍රදේශ වල තරමක් විශාල ඉඩම් සුලබ නොවන නිසා...ඒත් නාගරික ප්‍රදේශ වල තනි මහල් නිවාස ඉදි කලා කියලා ගැටලුවක් ඇති වෙන්නේ නෑ...
  • පවුලේ ජීවත් වෙන්නේ බොහෝම සුලු පිරිසක් නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට අඩු ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ තනි මහල් නිවාසයක්.
තනි මහල් නිවාසයකට කණු කීපයක් ඇති වැරන්ඩාවක් එකතු කරාම හුඟක් ලස්සනට පේනවා...ඒ වගේම වහලය මට්ටම් කීපයකට පල කීපයකට යෙදීමෙන් තනි මහල් නිවස තවත් ලස්සන කරගන්න පුලුවන්.හැබැයි මේවට තරමක් වැඩිපුර මුදල් වැයවෙන බව හිතේ තියාගන්න.දෙමහල් නිවසක් ගැන හීන දැක දැක හිටපු ඔබට යම් අපහසු තාවයක් නිසා තනි මහල් නිවසක් තැනීමට සිදු වුනොත් දුක් වෙන්න එප...ඉහත මා කී ක්‍රම සහ තවත් නොයෙක් ගෘහනිර්මාණ ක්‍රම මගින් ඉතා ලස්සන තනි මහල් නිවසක් සැලසුම් කරන්න දක්ශ සැලසුම් කරුවෙකුට පුලුවන්.ඒ නිසා හැම විටම සැලසුමක් අන්දවා ගැනීමට පෙර ඔබේ ආර්ථික මට්ටම සහ ඉඩමේ ස්වභාවය පිලිබඳව සැලසුම් ශිල්පියාට දන්වන.තනි මහල් නිවසකට වැයවෙන මුදල මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙන නිසා ජීවිත කාලයම බාගෙට හදපු දෙමහල් නිවසක ඉන්නවට වඩා සම්පූර්ණයෙන් හදාගත්තු තනි මහල් නිවසක ජීවත් වෙන එක හිතට ලොකු සහනයක්.ආයෙමත් මම කියන්න ඕනි මම මෙහෙම කියන්නේ ආර්ථික අතින් අපි වගේ සාමාන්‍ය මධ්‍යම පාන්තික අයට.

2.දෙමහල් හෝ මහල් කීපයක් ඇති නිවාස.

  • මහල් කීපයකින් යුතු නිවාස වඩාත් ගැලපෙන්නේ ආර්තික අතින් සවිමත් අයටයි.එහෙම නැතිනම් තරමක් විශාල මුදලක් බැංකුවකින් ණය මුදලක් ලෙස ලබාගෙන කොටස් වශයෙන් එය අපහසුවකින් තොරව ගෙවීමේ හැකියාව ඔබට තියනවනම් මහල් නිවාසයක් ගැන ඔබට හිතන්න පුලුවන්.
  • මහල් කීපයකින් යුතු නිවාස පර්චස් කීපයක කුඩා ඉඩමකට මෙන්ම විශාල ඉඩම් සඳහා වුවද ගැලපේ.ඔබට තියෙන්නේ කුඩා ඉඩමක් නම් එහි ඇති ඉඩ ප්‍රමාණය කලමණා කරණය කරගෙන හොඳින් ඉඩ පහසුව ඇතිව දෙමහල් නිවසක් ඉදි කරන්න පුලුවන්.පර්චස් 7ක් 8ක් වගේ තියන නාගරික ඉඩමක උනත් පර්චස් 3 ක් විතර ගෙවත්තක් ඇතුව නවීන පන්නයේ අලංකාර හොඳින් ඉඩකඩ ඇති මහල් නිවසක් හදන්න පුලුවන්.
  • පවුලේ වැඩි පිරිසක් ජීවත් වෙනවා නම්,ඒ කියන්නේ පස් දෙනෙක් ට වැඩි ගණනක් නම් වඩාත් සුදුසු වෙන්නේ දෙමහල් නිවාසයක්.

බොහෝ විට විසිත්ත කාමරය,කෑම කාමරය පෑන්ට්‍රිය හෝ කුස්සිය,ගරාජය,සේවක කාමර,අමුත්තන්ගේ කාමරය,නාන කාමරයක් වැනි අංග පහත මාලයටත් නිදන කාමර,රූපවාහිණී කාමරය,ලොබිය,සඳලු තලය,නාන කාමරයක් හෝ කීපයක් වැනි පුද්ගලික අංග ඉහත මාලයටත් යෙදීම සාමාන්‍ය ක්‍රමයයි.නමුත් පෙර මා කී මෙන් තනි මහල් නිවසකට යන වියදම මෙන් දෙගුනයක් පමණ දෙමහල් නිවසකට වැයවෙනවා.ඒ ගැනත් හොඳින් හිතල බලල තමට වඩාත් ගැලපෙනම නිවාස වර්ගය තෝර ගන්න.

ඔබේ නිවස තනි මහල් හෝ දෙමහල් කුමන ආකාරයේ නිවසක් උනත් වෙනත් නිවාස සමඟ සන්සන්දනය කරන්න එපා.සෑම විටම ලෝකේ තියන ලස්සනම,වාසනාවන්තම නිවස ඔබේ නිවස කියලා හිතන්න.ඔබේ ආර්තික මට්ටමට ගැලපෙන,ඔබේ අවශ්‍යතාවයන්න්ට ගැලපෙන ලෝකේ තියන හොඳම නිවාසයේ ඔබ ඉන්නේ කියලා හැමවෙලේම හිතන්න...එහෙම හිතුවොත් ඔබට කිසිදාක වරදින්නේ නෑ...



Thursday, September 16, 2010

කාලයකට පස්සේ...

බොහෝම කාලයකට පස්සේ ආයෙමත් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් හම්බුනා...කොහොම හරි මේ සතියේ ඉඳන් ආයෙමත් සතියකට එකක් වෙන්න වත් ආයෙත් මොනවා හරි ලියන්න උපරිම උත්සාහ කරනවා...එහෙනම් ජය වේවා...

Monday, May 10, 2010

මාරක දුරකථන ඇමතුම් !



යාලුවනේ...ඔයලටත් අහන්න ලැබුනද මාරක අනතුරු සිදුවෙන දුරකථන ඇමතුමක් ගැන.මීට සතියකට විතර කලින් මාලදිවයිනේ ඉතා වේගයෙන් කතාවක් පැතිරුනා යම්කිසි දුරකතන අංක කීපයකින් ලැබෙන ඇමතුම් වලින් අධි සංඛ්‍යාත යක් නිකුත් වෙන බවත් එම ඇමතුම් වලට පිලිතුරු දීමට ගොස් පුත්ගලයන් කීප දෙනෙක් මියගිය බවත්.පස්සේ රූපවාහිනී නාලිකා මගින් විකාශනය කරා ඒක බොරු කතාවක් කියලා.ඊයේ මට ආරංචි උනා එම කතාව ලංකාවෙත් පැතිරෙනවා කියලා.ඔය කතාව මුලින්ම පැතිරෙන්න පටන් අරන් තියෙන්නේ පකිස්ථානයෙන් ලු. මම නම් හිතන්නේ ඕක බොරු කතාවක්.හැබැයි ඔවැනි දෙයක් සිදු වීමේ හැකියාවක් තිබිය හැකියි.මොලේ විකාර කරවන සංගීත තැටි පවා ලොව නන් දෙසින් බිහිවෙනවනේ...අපේ කනට සහ මොලයට ඔරොත්තු නොදෙන සංඛ්‍යාත පරාසයකින් යමක් විකාශණය කලොත් එකෙන් බලපෑමක් වෙන්න පුලුවන්.ඔය ගැන තියන චිත්‍රපටියකුත් මම ලඟදි බැලුවා.නම The Signal. මිතුරෙකුගෙන් දැනගත් විදිහට නම් දුරකතන සේවා සපයන ආයතන වලට පුලුවන් ලු පෙරණයන් මගින් අනවශ්‍ය සංඛ්‍යාත ඉවත් කරලා අවශ්‍ය සංඛ්‍යාත පමනක් දුරකතනයට එවන්න.ඉතිං ඇත්තටම එවැනි තර්ජනයක් ආවත් බය වෙන්න ඕනි නෑ...

Saturday, May 1, 2010

මාලදිවයිනේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන...

ඔන්න අන්තර් ජාලයෙන් සොයද්දී මට හම්බුනා මාලදිවයිනේ නටඹුන් වෙලා ගිය බෞද්ධ සිද්ධස්ථාන කීපයක පින්තූර.ඔන්න ඔයාලත් බලන්න.


Thursday, April 29, 2010

කැඩපතක සේයා...

ඔන්න මමත් පටන්ගත්තා පින්තූර බ්ලොග් අඩවියක්.නම කැඩපතක සේයා...මේකට බොහෝ දුරට ඇතුල් කරන්නේ මම ගත්තු පින්තූර.කැමතිනම් ඔයාලත් ගිහින් බලන්න.සින්ඩියටත් ඇතුල් කරන්න කියලා ඉල්ලීමක් කරා.සමහර විට හරියයි...

Friday, April 23, 2010

සොබාදමේ අරුමේ...

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...


Sunday, April 18, 2010

බෞද්ධ රාජ්‍යයක අවසානය...


මේක තරමක් අමුතු කතාවක්! මාලදිවයින දැනට සියවස් ගනනාවකට පෙර පිරිසිඳු ථේරවාදී බෞද්ධ රටක් ව තිබුනාලු.එහෙව් රටට අද වන විට ඉස්ලාම් දහම හැර වෙනත් කිසිදු ආගමක් නොමැති තත්වයට පත් උන හැටි මාලදිවයිනේම ඉන්න මගේ යාලුවෙක් මට කිව්වා.මේ කතාව ඔව්න්ගේ ඉතිහාසයෙන් මකා දමා ඇති කතාවක්.

ඒ කාලේ මාල දිවයිනේ රජ කරේ ඉතාමත් කාමයට ලැදි රජ කෙනෙක්.කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජා කරන්නේ තමාගේ චර පුරුශයන් මිනිසුන් වාසය කරන දූපත් වලට යවලා සුරූපී යුවතියන් ඉන්නා නිවාස වලට සලකුනක් දමන එකයි.(අපරාදෙ කියන්න බෑ...මාලේ ලස්සන කෙල්ලෝ ඉන්නවා නිකං මල් වගේ...)මේක වෙන්නේ හොර රහසේ...

යම් කිසි යක්ශයෙක් ඇවිත් නිවාස වල සළකුනක් දමා යන බවත්,එම නිවසේ ඉන්නා සුරූපී යොවුන් තරුණියක් එම යකාට බිලි දිය යුතු බවත්,එසේ නොවුනහොත් යකා මුලු රටම වනසන බවත් ඔය අතරේ රටේ ප්‍රචාරය කරවනවා.ඊට පස්සේ රජතුමා නිවේදනය කරනවා සලකුණු දමා ඇති ගෙවල්වල ඉන්න යුවතියන් රාජ පුරුශයන්ට බාර දෙන්න කියලා යකාට බිලි දෙන්න.ඔන්න ඉතිං පහුවදාට රාජ පුරුශයෝ යකාට බිලි දෙන්න කියලා කෙල්ලෝ උස්සං ගිහිං රජ තුමාට දෙනවා.රජ තුමා මුලින්ම තරුණියව කෙලෙසලා ඔහුගේ හිතවතුන්ටත් දීලා මරලා දානව...
රජා නෝන්ඩි නැතුව යකා පිට දාලා ඔය වැඩේ බොහෝම කාලයක් කරගෙන ගියාලු.

ඔය අතරේ මාල දිවයිනට අරාබියේ සිට පැමිනි ඉතා බලවත්,ධනවත් වෙලෙන්දෙක්ට මේ කතාව ආරන්චි උනා.ඔහුට මේ ගැන සැක හිතිලා දින ගනනාවක් මේ ගැන සෙව්වාලු.පස්සේ වැඩේ අහු උනා...මොහු කෙලින්ම රජු හමුවට ගියාලු.ඊට පස්සේ තමා සියල්ල දන්නා බවත්,මේ රහස එලි කරහොත් ජනතාව කුපිත වී රජ කම අහිමි විය හැකි බවත් කීවාලු.ඉතා භීතියට පත් රජතුමා රහස එලි නොකරන ලෙස බැගෑපත් වී තමා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැමති බවත් කියා සිටියාලු.
මේක අවස්තාවක් කරගත්තු ඉතා බලවත් අරාබි වෙලෙන්දා (නම මතක නෑ...)රහස එලි නොකිරීමටනම් මින් පසු එම වරද නොකරන ලෙසත්,අරාබි කරයෙන් පැමිනි තමන් මුස්ලිම් ආගමේ බලයෙන් යක්ශයා විනාශ කර බවත්,එම නිසා මුස්ලිම් ආගම ඉතා බලවත් බවත්,සෑම දෙනාම මෙතැන් පටන් බුදු දහම අතහැර ඉස්ලාම් දහම වැලඳ ගත යුතු බවත් දැන්වීය.රජා එදා පටන් මාල දිවයින ඉස්ලාම් රාජ්‍යයක් ලෙසට ප්‍රකාශයට පත් කරාලු.අදටත් වෙනත් කිසිදු ආගමක් හෝ ආගමකට සම්බන්ද ලිපියක් හෝ මාලදිවයිනේ පල නොවේ.කොටින්ම කියනවානම් වෙසක් කාඩ් එකක්,නත්තල් කාඩ් එකක් වත් මාලදිවයිනට තැපෑලෙන් එන්නේ නෑ.ඔවුන් ඒවා විනාශ කරනවා.එසේ මුස්ලිම් වරුන් විනාශ කර දැමූ වෙහෙර විහාරස්තාන වල නටඹුන් අදටත් දකුණු දෙස ඇති සමහර ජන ශුන්‍ය දූපත් වල තිබෙනවාලු.මේ කතාවේ සත්‍ය අසත්‍ය නම් මම හරියටම දන්නේ නෑ.ඒත් පෙර බෞද්ධ රටක් ව තිබී පසුව බලහත් කාරයෙන් ඉස්ලාම් දහම වැලදගත් බව නම් විශ්වාස කරන්න පුලුවන්.

(මෙම ලිපියෙන් ඉස්ලාම් දහමට අපහාසයක් කිරීමේ කිසිදු චේතනාවක් නොමැත.මා දැනගත් සිද්ධියක් බ්ලොග් සටහනක් ලෙස ලිව්වා පමණයි.)

Monday, April 12, 2010

අන්තර්ජාලයේ භාදක දුවමු.



ඔන්න අද කියන්න යන්නේ මෘදුකාන්ගයක් ගැන.මුලින්ම කියන්න ඕනි මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා.මේකෙන් පුලුවන් වාරණය කරන ලද වෙබ් අඩවි,මෘදුකාන්ග වල වාරණයන් බිදින්න.මේක හුඟාක් මට ප්‍රයෝජනවත් උනා ඩුබායි ඉන්නකොට ලන්කාවට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්න.මොකද කියනවානම් එහේ ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ අන්තර් ජාලය හරහා දුරකතන සේවා සපයන්නන්ගේ පරිගනකයෙන් දුරකතනයට (pc to phone) ඇමතුම් ගැනීමට නොහැකි ලෙස වාරණය කරලයි තියෙන්නේ.මේකේ නම තමයි Hot Spot Shield .මෙකෙන් සිද්දවෙන්නේ අපිව වෙනත් ජාලයකට සම්බන්ධ කරලා ඒ හරහා අන්තර්ජාලයට සම්බ්දන්ධ කිරීමයි.

Friday, April 9, 2010

ෆේස් බුක් හරහා බලු වැඩ කිරීම


ෆේස් බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්නේ...මම ෆේස් බුක් එකටසෙට් උනේ දැනට වසර 2කට පමණැ පෙර.ඇත්තටම එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් ලොකු සේවාවක් වෙනවා.කාලෙකින් හමු නොවුනු මිතුරන් බොහෝ දෙනෙක් මට ෆේස් බුක් හරහා හමු උනා.ඇත්තටම කියනවානම් මම ෆේස් බුක් වලට වහ වැටිලා හිටියේ.ඒත් දවසක් මගේ යෙහෙලියක් මට කතාකරලා අමුතු විදිහට ප්‍රශ්න වැලක් ඇහුවා.මොකක් හරි අවුලක් වෙලා කියල මට වැටහුනා.පස්සේ එයාම කිව්වා "ඔයාගේ පින්තූරය දා ගත්තු ඔයාගේ නමටම සමාන නමක් තියන ෆේස් බුක් සාමජිකයෙකුගෙන් ඇරයුමක් ලබුනා...ඉතිං මම ඔයා කියල හිතාගෙන ok කරා...ඒත් එයා නරක යෝජනා,නරක දේවල් එවනවා" කියලා.එදාම මගේ නංගිත් කතා කරලා ඔය වගේම කතාවක් කිව්වා.මම ඇත්තටම බය උනා.
කවුරු හරි මගේ ෆේස් බුක් ගිනුමේ තිබුනු මගේ පින්තූර ටික අරගෙන,මගේ නමට සමාන නමකින් ගිනුමක් ආරම්භ කරලා මගේ ගිනුමේ හිටි ගෑණු ලමයි හැමෝටම ඉන්වයිට් කරලා.හුඟ දෙනෙක් මම කියලා හිතාගෙන ok කරලා.මේ යකා උන්ට නොයෙක් විකාර,නරක දේවල් ලියලා.මගේ හිටපු හුඟක් මිතුරියෝ මාත් එක්ක තරහා උනා.කීපදෙනෙක්ට කරුනු පහදලා ආයේ ශේප් කර ගත්තා.තාමත් ඌ මගේ පින්තූරයක් දාගෙන ඉන්නවා.බොරුනම් මෙතන ක්ලික් කරලා බලන්න.නැත්නම් ' කසුන් නිලන්ත ' කියලා ෆේස් බුක් එකේ සොයලා බලන්න.මට ඔය සිද්දියෙන් පස්සේ ෆේස් බුක් එපාම උනා.මම අදටත් අත්‍යාවශ්‍යම කරුනකට හැර ෆේස් බුක් එකට යන්නේ නෑ.ඌ දාලා තියෙන්නේ මම ඩුබායි ඉන්නකොට ගත්තු පින්තූර ටිකක්...පස්සේ මම මගේ පින්තූර මිතුරන්ට හැර වෙන අයට බලන්න බැරි වෙන්න දැම්මා...ඒත් ඉතින් වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි...මුන් වගේ උන් සමාජයටම පිලිලයක්!මමනම් හැමෝටම කියන්නේ තමාගේ පුත්ගලික පින්තූර අන්තර්ජාලයටනම් දාන්න එපා කියලා...

Monday, February 15, 2010

තමාගේම නිවසක සිහින දකින් ඔබට...(5 කොටස )



ඔන්න ආයෙමත් ගෙවල් හදන්න ඉන්න අයට සහ ගෙවල් හදාගෙන යන අයට වැදගත් වෙයි කියල හිතෙන කරුණු ටිකක් ලියන්නයි හදන්නේ.අද කියන්නේ නිවාස තැනීමට ගන්නා අමුද්‍රව්‍ය නිසි ලෙස තෝරා ගන්නා ආකාරය ගැනයි.මොකද කියනවනම් වෙළඳ පොලේ හොඳ බඩු මෙන්ම තත්වයෙන් බාල හොර බඩුත් අනන්තවත් තියනවනේ.බොහෝ දෙනෙක් කාර්ය බහුලත්වය නිසා තමාගේ නිවාසය තැනීමට වෙනත් කොන්ත්‍රාත් සමාගමකට බාර දෙනවා.ඒකත් ආකාර 2 කට සිදු වෙනවා.එකක් තමයි අමුද්‍රව්‍ය නිවැසියා ලබා දී කම්කරු ශ්‍රමය පමනක් අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.අනෙක තමයි සියලුම අමුද්‍රව්‍ය සහ ශ්‍රමය අදාල සමාගමෙන් හෝ කොන්ත්‍රාත් කරුගෙන් ලබා ගැනීම.දෙවන ක්‍රමයේදී නම් අප වඩාත් සැලකිල්ලක් දක්වන්න ඕනි අනෙක් පාර්ශවයෙන් නිසි ප්‍රමිතියට අනුව අමුද්‍රව්‍ය යොදාගන්නවාද යන්න පිලිබඳව.සාමාන්‍යයෙන් ටිකක් යහමින් මිල මුදල් තියන පිරිස තමයි හුඟක් වෙලාවට පෙර මම කියපු ක්‍රම දෙකට යන්නේ.බොහෝ විට අප වැනි සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින් කරන්නේ සල්ලි ටිකක් එකතු කරගෙන එකෙන් ගල් ටිකක්,වැලි ටිකක්,සිමෙන්ති මිටි කීපයක් ගෙනත් මේසන් මහතෙක් අල්ලගෙන වැඩේ කරගන්න එකනේ.ඔය කොයි කොයි විදිහට නිවාසය හැදුවත් බාස් ගෙ කීමටවත්,කොන්ත්‍රාත් කරුගෙ කීමටවත්,වෙලෙන්දාගෙ කීමටවත් රැවටෙන්නෙ නැතුව බුද්දිමත්ව අමුද්‍රව්‍ය ටික ගන්න ඕනි.

1. සිමෙන්ති
=======================
නිවසක් ඉදිකිරීමේදී අතිශයෙන්ම වැදගත් අමු ද්‍රව්‍යකි.ගඩොල් හෝ කලුගල් හෝ කොන්ක්‍රීට් එකකදී නම් කුඩා ගල්,කම්බි සහ වැලි එකිනෙක ශක්තිමත්ව බඳවා තබීමට ප්‍රධාන වන්නේ සිමෙන්තිය.සිමෙන්ති වර්ග ගනනාවක් තිබේ.නමුත් ලංකාවේ අප සාමාන්‍ය ඉදි කිරීම් සඳහා යොදා ගන්නේ පෝට්ලන්ඩ් වර්ගයේ සිමෙන්තිය.නොයෙක් නම් වලින් වෙලඳ පොලට එන්නේ මේවාය.සිමෙන්ති මිලට ගනීමේදී අනිවාර්යයෙන් තත්ව සහතිකය තිබේදැයි බලන්න.එය මනාව පෙනෙන පරිදි පිට කවරයේ මුද්‍රනය කර තිබිය යුතුය.දැනට වෙලඳ පොලේ ඇති බොහෝ සිමෙන්ති වලට SLS සහතිකය තිබුනත් මා නම් පුද්ගලිකව අනුමත කරන්නේ සෑම විටම සංස්ථා සිමෙන්ති මිලදී ගන්න ලෙසයි.ඇතැම් විට මේසන් මහත්වරුන් සංස්ථා සිමෙන්ති වලට වැඩි කැමැත්තක් නොදක්වයි.ඒ සංසිතා සිමෙන්ති සවි වීමට තරමක් වැඩි වේලාවක් ගතවන නිසා සහ දෑත් හම යන ස්වභාවය වැඩි නිසාය.නමුත් ක්ෂනිකව සවිවන සිමෙන්ති වලට වඩා ක්‍රමානු කූලව සවි වන සිමෙන්ති වල ශක්තිය වැඩිය.හැකි සෑම විටම සංස්තා සිමෙන්ති යොදා ගන්න. එකවර වැඩි සිමෙන්ටි මිටි ප්‍රමානයක් මිලදී ගන්නේ නම් (25 ට වඩා) ඔබ වෙසෙන ප්‍රදේශයේ නියොජිත මහතා මගින් වෙලඳ සැල් වලට දෙන මිලටම නිවසටම ප්‍රවාහනය කරව ගන්න පුලුවන්. කඩේ මිලට වඩා රුපියල් 15ක් පමන අඩුවට ගන්නත් පුලුවන්.

2. වැලි
======================== ඉදි කිරීම් ක්ෂේස්ත්‍රයේ අත්‍යාවශ්යම අමු ද්‍රව්‍යකි.පිරිසිදු ගංගා වැලි ඉදිකිරීම් සඳහා යොග්‍ය වේ. ඉතා කුඩා ප්‍රමානයේ සහ විශාල ප්‍රමානයේ වැලි,අදික බොරලු ඇති වැලි මිලදී ගැනීමෙන් වලකින්න.සෑම විටම මධ්‍යම ප්‍රමාණයේ මඩ ගතිය අවම වැලි මිලදී ගන්න.අදික වැසි සමයන්හිදී ගංගා වැලි වලට රොන් මඬ මිශ්‍ර වේ.එවැනි කාල වලදී සැලකිලිමත්වන්න.ගංගා වැලි වලට අමතරව වැලි නිධි වලින්ද වැලි ගොඩ ගනු ලැබේ.නිධි වැලි බොහෝ විට ඉතා කුඩා වේ.කපරාරු කිරීම් ආදිය සඳහා තරමක් සුදුසුවේ.මුහුදු වැලි කිසි විටෙකත් ඉදිකිරීම් සඳහා කවුරු කිව්වත් යොදා ගන්න එපා.

3. ගල්
=========================
ගල් ප්‍රධාන වශයෙන් ගන්නේ අත්තිවාරම් දැමීමට සහ කොන්ක්‍රීට් දැමීමටයි.අත්තිවාරමට ගන්නේ 9"x 12" පමන විශාල ගල් සහ කුඩා සක්ක කැබලිය.ගල් වල පැහැය සුදට හුරු නම් හෝ,ගල් හරහා සුදු පැහැති වයිරම් විශාල වශයෙන් තිබේනම් ඒවා ශක්තිමත් බවෙන් අඩු ඒවා ය.තද අලු පැහති කලු පාටට හුරු ගල් ශක්තිමත් බවෙන් වැඩිය..කොන්ක්‍රීට් සඳහා යොදා ගනේ 3/4"ප්‍රමානයේ කලුගල් ය.පෙර කී කරුණු මෙයටද අදාල වේ.විශාල කැට සහ කුඩා කැට බහුල මිශ්‍ර කොන්ක්‍රීට් ගල් වලට වඩා එකම ප්‍රමානයේ කුඩා ගල් (3/4") මිලදී ගන්න.ඇතම් ගල් මෝල් කරුවන් බාල කලුගල් වලට ජලය ඉස කලු පැහැයට හරවා පාරිභොගිකයා රවටන අවස්ථා තියනව.ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.(අනිත් ගල් වගේ නෙමේ...ගෙවල් හැදිල්ලෙදි සුදු ගල් වලට රැවටෙන්න එපා...!!!)

4. කම්බි
========================
කොන්ක්‍රීට් එකක් දැමීමේදී ශක්තිමත් භාවයට ප්‍රධාන වේ.නානාප්‍රකාර කම්බි වර්ග වෙලද පොලේ තිබුනත් සංස්ථා කම්බි ඒ සැමට වඩා ශක්තිමත් බවෙන්,ආතතියෙන් සහ නිමාවෙන් අවිවාදයෙන් ම ඉදීයෙන් සිටී.මේ බව එකම ප්‍රමානයේ සංස්ථා කම්බියක් සහ වෙනත් වර්ගයක කම්බියක් සැසඳීමෙන් ඔබටම පෙනේවි.සංස්ථා කම්බි අනෙක් කම්බි වර්ග වලට වඩා තරමක් මිලෙන් වැඩි නිසා කොලම්,බීම් සහ ඉහත මාලය සඳහා පමනක්වත් අඩුම් තරමේ සංස්ථා කම්බිම යොදා ගන්න.ඒ හැරුනු විට බියගම කම්බි තරමක් ප්‍රමිතියෙන් ඉහලය

5.ගඩොල්
========================
නිවසක බිත්ති බැඳීමට යොදා ගැනේ.ගඩොල් වර්ග 2ක් තිබේ.ඒවා නම් ඉංජිනේරු ගඩොල් සහ පිලිස්සූ මෝඩ ගඩොල්ය.ඉංජිනේරු ගඩොල් ප්‍රමානයෙන් කුඩාය.කුඩා ගඩොල් විශාල ගඩොල් වලට වඩා ඉක්මනි,හොඳින් පිලිස්සේ.නමුත් සමහර විට පිටතින් ඉතා හොඳින් පිලිස්සී ලෙස පෙනුනද ඇතුලතින් පිලිස්සී නැති ගඩොල් තිබේ.මේවා "දඹු ගඩොල්" වේ.ගඩොල් ගැනීමේදී කැඩී ගිය ගඩොල් කැබලි පරීක්ෂා කරන්න.එවිට දඹු ගඩොල් බහුල බව පෙනේ නම් මිලදී ගැනීමෙන් වලකින්න.හොඳින් පිලිස්සුනු ගඩොල් කැට දෙකක් එකිනෙක ගටුනු විට නැවුම් පැදිලි ශබ්දයක් නැඟේ.එය ටයිල් කැට දෙකක් එකට වදින විට නැගෙන හඬ මෙන් වේ.තවද බාහිරින් නිසි ලෙස පිලිස්සේ නැති,පැත්තක් රතු පැහැයටත් තවත් පැත්තක් කහ පැහැයටත් ඇති ගඩොල් බහුල නම් එම ස්ථානයෙන්ද ගඩොල් මිලදී ගැනීමෙන් වලකින්න.හොදින් පිලිස්සුනු ගඩොල් රත් පැහැති වේ. ===============================================================================================================

මේ ලිපිය ලිව්වේ ටිකක් කාර්ය බහුල දවස් ටිකක.ප්‍රින්ටින් මිස්ටේක් එහෙම ඇති.ගනන් ගන්න එපා.ගල්,වැලි,සහ ගඩොල් නම් එකවර විශාල ප්‍රමානයක් ගැනීමෙන් තරමක ලාබ දායී වෙන්න පුලුවන්.ඒත් ඒවා ගේන්න කලින් ඉඩකඩ පහසුව ගැනත් හිතන්න ඔනි.වැලි එහෙම ගෙනත් නිකම් ගොඩ ගහල තිබුනොත් එක වැස්සක් වැහැපු ගමන් බඩුම තමයි.ඒ නිසා ඒවටත් පිලියමක් යොදාගන්න.වැලිගොඩ වටේ ගල් වැටියක් දාන්න.වැස්සක් එනවනම් පුලුවන්නම් ටෙන්ට් රෙද්දකින් හරි පරණ ගෝනි ටිකක් දාල හරි,ඉටි කොල ටිකක් දාල හරි ආරක්ශා කරගන්න.සිමෙන්ති සහ කම්බි ගේනවනම් වැඩේ පටන් ගන්න කිට්ටු කරලම ගේන්න.ගෙනත් නොතෙමෙන ස්ථානයක අනිවාර්යයෙන්ම තියන්න.නැතිනම් සිමෙන්ති හයි වෙනවා.කම්බි මලකඩ කනවා.හරි හරි....අදට ඇති.අතත් රිදෙනව... ආයෙත් දවසක ගෙවල් ගැන විස්තර ලියන්නම්.හැමෝටම සුභ දවසක්...