Saturday, February 28, 2009

නිදහස් කේථ මෙහෙයුම් පද්ධතියක් කරා පිය මැන්නෙමි...

ඊයෙ මම තීරණය කරා Windows Vista ට අමතරව වෙනත් මෙහෙයුම් පද්ධතියක් ගැන ටිකක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.ඉතින් මම හිතුව Linux මෙහෙයුම් පද්ධතිය දා ගත්තොත් හොඳයි කියලා.අපේ බ්ලොග් ලියන යාලුවො හුඟ දෙනෙක් Linux වල විවිද ප්‍රබේධ භාවිතා කරනවනේ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.උදව්වට යාලුවො ඉන්න නිසා Linux වර්ග කීපයක්ම බා ගත්තා.(Fedora,Ubuntu,Kubuntu,Puppy,Debin,Mandriva,PC Linux,Suse,Foresight,Sabayon)දැං ඉතින් Linux වර්ග කීපයෙන් මොකද්ද මට ගැලපෙන්නේ....මොකද කියනවනම් ඉතින් මම Linux වලට කෝඩු කාරයනේ...කෝඩු කාරය කිව්වට කෝඩුමත් නෑ.දැනට අවුරුදු3,4 කට කලින් මම Red Hat Linux CD 3 ක් අරන් ස්ථාපනය කරන්න ගිහින් තිබුනු Windows Xp ත් නැති උනා...හාඩ් ඩිස්ක් එක වෙන ෆයිල් ෆොඉමැට් එකකට මාරුවෙලා නිසා ආයෙමත් Partition ලිහල NTFS විදිහට Format කරල තමයි ගොඩ දා ගත්තේ.ඊට පස්සේ Linux දිහා බැලුවෙවත් නෑ.ඒත් මේ අපේ බ්ලොග් ලියන යාලුවො රස කර කර Linux ගැන කියන කොට මටත් නිකන් කිචි වගේ.ඉතින් මාත් බැස්සා Linux වලට.මේ වැඩේට හැමදාම වගේ මම උපදෙස් පැතුවෙ සමීර ශාකුන්තල සොයුරාගෙන්.
සමීර කියන්නේ ඕනම වෙලාවක මම නොදන්න දෙයක් කියල දෙන නියම කල්‍යාණ මිතුරෙක්.තමන්ගෙ වැඩ පාඩු කරගෙන හරි දන්න දෙයක් තව කෙනෙකුට කියා දෙන හිත හොඳ කොල්ලෙක්.සමීර මට Virtual Box එකේ තියන උබුන්ටු අයින් කරන විදිහයි,මට ගැලපෙන Linux එකක් තෝර ගන්න විදිහයි,ඒවට සිංහල දාන විදිහයි තව සෑහෙන දේවල් කියාදුන්නා....මම Linux වලට අලුත් නිසා ඉදිරියේදිත් සමීර සොයුරගෙන් උදවු ඉල්ලන්න වෙයි සමහර විට.කොහොම හරි අන්තිමට මම මගේ Laptop එකේ Vista තියන Partition එකෙන් 20GB කෑල්ලක් කඩලා දැම්මා Kubuntu Linux 8.10. XPදානවටත් වඩා ලේසියෙන්, ඉක්මනින් ස්ථාපනය වුනා.වැඩ කෑලි ගොඩයි.ඩෙස්ක්ටොප් එකේ අයිකන නම් පේන්න නෑ.ටිකක් අවුස්සද්දී හම්බවෙයි.පෙනුම නම් මාර ගති.
Youtube එකේ මම දැක්කා Folder නම්යශීලි වෙනවා...ඩෙස්ක්ටොප් 4ක් ඝනකයක් විදිහට පෙරලනවා... Leopard OS වල වගෙ ඩෙස්ක්ටොප් ටූල් බාරයක් තියනවා...Desktop එක Animate වෙනවා....තව තව වැඩ ගොඩයි.තාම ඒවා එකක්වත් හම්බුනේ නෑ.ටිකක් හොයල බලන්න ඔනි.මම අන්තර් ජාලයට යන්නේ wifi වලින්.තාම ඒකත් වැඩ නෑ.ඒකනම් නැතත් අවුලක් නෑ.වයර් ඒක ගහගෙන යන්න පුලුවන්නේ.වයර් එක ගහපු ගමන්ම අන්තර්ජාලයට ඉබේම ගියා.Skype බා ගෙන දා ගත්තා.මට හම්බුනේ පරණ එකක්ද මන්දා Video Call එහෙම Skype වල පේන්න නෑ.මෘදුකාංග වල නව යාවත් කාලීනයන් තියනවා කියලා පනිවිඩයක් ආවා.අත පත ගාලා කොහොම හරි 299Mbක යාවත් කාලීනයන් ස්ථාපනය කරා.සමීර සොයුරා Shiretoko දාන හැටි ලියල තිබුනනෙ බ්ලොගේ.ඒකෙන් බලලා දාගන්න පුලුවන් වෙයි.ටික ටික ඔහොම ගිහින් බලමුකෝ..මම මේ බ්ලොග් එක ලියන්නේ කාර්යාලයේ පරිගනකයෙන්.ලඟදීම කුබුන්ටු වල ඉඳන් සිංහල බ්ලොග් ලියන්න පටන් ගන්නව.Linux වලට මාව උනන්දු කරපු ඔබ සැමට ස්තුත්යි...


Publish Post

.

Tuesday, February 24, 2009

තව ටික දිනයි....

මේ ටිකේ මම ටිකක් විතර අවිවේකයි.රාජකාරී වැඩ ටිකකුත් වැඩියි.ඒත් මේ දවස් වල මාර සංතෝසෙන් ඉන්නෙ.මොකද කියනවනම් ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා.....ඉතින් මේ ටිකෙ ෂොපිං යනවා...බඩු ගේනවා....බඩු අහුරනවා....එක විකාරයයි.කොටින්ම කියනවනම් මම නැවතිලා ඉන්න කාමරේ කුණු ගොඩක් වගේ වෙලා.ටික ටික අස් කරනව...දැන් ඉතින් ඉවසිල්ලක් ඈ ගෙදර යන්න.දැන් අවුරුදු 1 1/2 වෙනව ඩුබායි වලටඇවිත්.ගියපාර මට නිවාඩු හම්බුන වෙලාවෙ මම ලංකවට ගියේ කාටවත් නොකියා....ගෙදර අය පුදුම කරන්න කියලා හිතාගෙන.ඒ අය පුදුම උනාට වඩා මට හොඳටම බැනුම් අහන්න උනා.ඉතින් ඒක නිස මේ පාර නම් කලින්ම ගෙදරට කිවුවා මම එන දවස.
මගේ ගම බලංගොඩනේ...
හුඟ කාලෙකින් දැකපු නැති අම්මයි තාතවයි දකින්න, සහෝදරියො දකින්න, කෙල්ලව දැකගන්න, ‍යලුවො සෙට් එක දැක ගන්න,නෑදෑයො දකින්න,ගමේ කොල්ලො ටිකත් එක්ක ගම වටේ රවුම් ගහන්න, ගෙවල් ලඟ තියන දිය ඇල්ලෙ මහ වළට පැනලා නා ගන්න, උදේට එහා මෙහා පේන්නෙ නැති තරම් ඝන මීදුම දකින්න, මීදුම අස්සෙන් ඉර එලිය වැටෙනව දකින්නන්, නිතරම වැටෙන චුරු චුරු පොද වැස්සේ ටිකක් තෙමෙන්න, වත්ත පුරා පහුරු ගගා කෑම අහුලං කන වලි කුකුල්ලු රංචුව දකින්න, පොල් පැලයක කුරුම්බැට්ටියක් වත් ඉතුරු නොකර කන ඳඬු ලේන්නු ටික දකින්න, දැන්නම් තියෙන්නේ පුදුම ආසාවක්.දැන් ඉවසිල්ලක් නෑ....ගමේ විතරක් නෙමේ මම වැඩි කාලයක් හිටපු ගම්පහ ගිහින් ඉස්ටේෂමේ චාටරයක් ගනන්න, මගේ හොදම යාලුව සිදත් ඒක්ක උගෙ බයිසිකලේ රවුම් ගහන්න, කෙටවල ඇනිකට් ඒකේ බැහැලා නාන්න, ගම්පහ හවසට පන්ති ඇරෙන වෙලාවට යාලුවොත් එක්ක සෙට් වෙලා කෙල්ලො බලන්න, හවසට සෙට් වෙලා බැඩ්මින්ටන් පාරක් ගහන්න,.....අම්මෝ...මතක් වෙනකොට ඉන්න බෑ ...නලියනවා...තව දවස් 6 යි නේ...

මම හිතාගෙන හිටියේ මේ පාර ලංකාවට එනකොට යුද්ධය නැවතිලා කොටි හැතිකරය ඉවර වෙලා තියෙයි කියලා...මගේ පැතුම සියයට සීයක් ම ඉටු නොවුනත් සෑහෙන්න දුරකට ඉවර වෙලා තියන එක ගැන හරිම සතුටුයි.අපේ වීර සෙබලුන් දිවා රෑ නොබලා රට රකින නිසානේ අපිට බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.ඔවුන්ට මාගේ හද පිරි ප්‍රණාමය පුද දෙන ගමන්ම මගේ මාතෘ භූමියට ඉක්මනින්ම සාමය උදා වේවා කියලා ප්‍රාර්තනා කරනවා....

Wednesday, February 11, 2009

උතුම් මිතුරා



මම පාසැල් ගිය අවදියේ ඉතාමත් කුලුපග මිතුරෙක් සිටියේය.ඔහු මෙතැන් සිට "ගයා" කියා හන්දුන්වමි. ගයා අධ්‍යාපනය ලැබුවේ කොළඹ තිබූ සුප්‍රසිද්ධ පාසැලකටය.මා මිතුරා ලංකාවේ ප්‍රසිද්ධ පවුලක සාමජිකයෙකි. ඔහුත් මමත් මගේ මිතුරු කැලත් නිතරම පාසැල් ගියේ එකටමය.ඒ උදේ 6.45 දුම් රියෙනි, නැත්නම් පාසැල් බසයෙනි. මගේ මේ මිතුරා අධ්‍යාපනයට සැබෑ දක්ශයෙකි.(හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමෙයී). අ.පො.ස ( උ.පෙල ) විභාගයෙන් අති විශිශ්ට ලෙස සමත් වූ ඔහුට A සාමාර්ත 3 ම තිබුනි.එම වසරේ ලංකවේ උ.පෙල. ගණිත අංශයෙන් තෙවනි ස්ථානය ගයා ට හිමි වුනි. ඉංජිනේරු පීඨයට යෑමට සුදුසුකම් උවමනාවටත් වඩා තිබියදී මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගනක විද්‍යාව හැදෑරීම ඔහු තෝරා ගත් උසස් අධ්‍යාපන මාර්ගයයි.ඔහු විශ්ව විද්‍යාලයේ සෑම වසරකම විශිෂ්ඨ ලෙස ප්‍රථිඵල පෙන්වමින් ඉතා ඉහලින් සමත් විය.මා දන්නා තරමින් ඔහු එම පීඨයේ දක්ෂතම සිසුවා ලෙසද තේරුණි. කෙතරන්ම් අධ්‍යාපන අතින් ඉහලට ගියත් කිසි දිනෙක තම මිතුරන් අමතක නොකල ඔහු හැමදාමත් සරල ජීවිතයක් ගෙවූ ගයා ම විය.

විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූ පසු ගයා තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගත්තේය.ඒ පරිගනක මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාන කරනය ආයතනයක් ලෙසටය.ඔහුගේ ව්‍යාපරය ඉක්මනින්ම දියුනු විය.ශ්‍රි ලංකවේ පමනක් නොව පිටරටවලින් පවා ඔහුට වෙබ් අඩවි තැනිමට ඇනවුම් ලැබුනි.ලංකවේ ඇති සුප්‍රසිද්ධ වෙබ් අඩවි ගනනාවක් ඔහුගේ දෑතින් නිමවිය. ඔහු තරම් බුද්ධිය ඇති කිසිවෙකු මේ දිවියේදේ මා ඇසුරු කර නොමැත.


ඒත් මීට මාස කීපයකට කලින් මා හට ආරංචි වුනු දෙයකින් මා එකවරම සසල උනි. එදා සිටි "මචං ගයා" අද නැත. දස දහස් ගනන් පරිගනක කේත අන්තර්ජාලයට මුදා හල ඔහු අද තම ජිවිතයේ ඉපදීම, මියයෑම, නැවත ඉපදීම, නැවත මියයෑම යන සාංසාරික අවුල්ජාලයට පිලියමක් සොයා ගැනීමට වෙර දරයි.එදා තම දෑත් අතොරක් මෙතොරක් නොමැතිව පරිගනක යතුරුපුවරුව මත දිව වූ ඔහු අද තම දෑත් ඉතා සන් සුන් ලෙස එක මත එක තබා වණගත කුටියකට වී, අතොරක් මෙතොරක් නොමැතිව දසත යන සිත සමාධි ගත කරගැන්මට වෙහෙසේ... එදා මා මිතුරු ගයා අද "ගම්පහ යෝගානන්ද" ස්වාමීන් වහන්සේය.උන් වහන්සේ මේ වන විට තරමක් ඈතින් පිහිටි වනගත අරණක මහණ දම් පුරණ සේක.උන් වහන්සේ කෙරේ මාග් පැතුමනම් මේභවයේ දී ම උන් වහන්සේට සසර මඟ කෙලවර කොට තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් දෙසූ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවා යන්නයි.


එක් වරම උන් වහන්සේ ගැන ඇසු සැනින් මා හද සසල වූවත් පසුව මා ඒ පිලිබඳව අප්‍රමාණ සතුටට පත් වීමි.මා මේ ලිපිය ලියා තබනුයේ උන් වහන්සේ කෙරේ මා සිත ඇති වූ අප්‍රමාන වූ භක්තිය නිසාමය.මා උන් වහන්සේගේ ගිහි නම මෙහි සඳහන් නොකලේ ඉන් උන් වහන්සේට කිසි යම් හෝ අවැඩක් සිදු වේ යැයි බියෙනි.මෙම ලිපියෙන් උන් වහන්සේට අබමල් රේණුවක හෝ අගෞරවයක්, අවැඩක්, සිදුවී නම් සිය දහස් වරක් සමාව අ‍යැදිමි.අන් සියලු මල් වලට වඩා ඉහලින් පිපී සුවඳ විහිදුවනා උඩවැඩියා මලක් සේ,අප ධර්ම ද්වීපයේ දහම් සුවඳ පතුරුවාලීමට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලබේවා....


Friday, January 30, 2009

අහිමි උනු ජීවිතය...


ගොඩනැඟිලි, මිල මුදල්...

සුවිසාල මන්දීර...

දහසකුත් විච්චුරන,

අනග සුර පුරක මැද...

තනි උනා ජීවිතය...

හඬමි කෑ ගසා ඉල්ලා...

අහිමි උනු ජීවිතය...

Wednesday, January 28, 2009

"Benjamin Button"

ඔන්න අද කියන්න යන්නේ නියම චිත්‍රපටියක් ගැන.මේකෙ නම "Benjamin Button" .ප්‍රධාන නලුවා "Brad pit" .මතක ඇතිනේ Troy ,Mr & Miss Smith ,Fight Club ,වගේ ඔහුගේ ජනප්‍රිය උනු චිත්‍රපටි. "Benjamin Button" කියන චිත්‍රපටිය හරිම අමුතුම කතාවක්.ජීවිතය අවසානයෙන් ආරම්භ කරපු පුද්ගලයෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ.මෙවර ඇකඩමි සම්මාන 11 සඳහාම නාම යෝජනා උනු එකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ චිත්‍රපටිය කොහොමද කියලා.මගේ කැමතිම චිත්‍රපටි කීපය අතරට ගිය සතියේ එකතු උනු අලුත්ම ඒක තමයි මේ. මම නම් DVD එකක් අරන් තමයි බැලුවේ.මම හිතන්නේ torrent වල ඇති. මම torrent වල නම් බැලුවේ නෑ. නැතිනම් DVD එකක් සල්ලි වලට අරන් බැලුවත් පාඩු නෑ...

අමතකවීම




ගිනි ගහන කාන්තාරේ...

කාසියට ලොබ බැඳන්...

යනෙන මඟ වරද්දා...

මවක යැයි අමතකව...

බිරිදකැයි අමතකව...

යුතුකම් ද අමතකව...

උයන් කොන කෙලවරේ...

තුරුණු දෑතක වෙළී...

පෙම් කෙලින

අපූරුව...

Tuesday, January 27, 2009

ආතාගේ විත්ති (1)

"කොල්ලෝ....මෙහෙ වරේං...."
ඔන්න අපේ ආතා කෑමොර දෙන්න පටන් ගත්තා... බලමු.
"ඇයි ආතේ...."
"බලාපං මේ අටම්පහුරෙ මීටරේ අහුවෙන්නේ නෑ බං.ප්‍රෝත්ති යන්නත් කිට්ටුයි ඇබිංදක් බලාපංකෝ...."
"ඉන්න බලන්න...හික්.ආතේ...මේකේ ඇන්ටෙනා වෑර් ඒක ගැලවිලා.හිටින්න ඩිංගක් හයි කරනකං"
ආතාගේ රේඩියෝව මං හිතන්නේ මාර්කෝනි මහත්තය රේඩියෝව හොයාගන්නත් කලින් ගත්තු එකක්ද කොහෙද.සයිස් එක මෙන්න...දිග අඩි 3 පලල අඩි 2.
"අංහ් දැං කොහොමද ආතේ...."
කර්ක්‍රාස්...ක්‍රීං...බී..ප් කුරුං......ස්....."ඔය අහු උනේ පුතේ නොම්බර එකට....හි හි.හි..."
ආතගේ මූනෙ මල් හතයි.ආතට කික් නම් ඉතින් මටත් කික්ම තමයි.
"මං වත්ත පල්ලෙහාට යනවා ආතේ..."
ඕං මම මාරු උනා...
"මැණිකේ...මැණිකේ...ලොක්කෝ...පුතේ...කෝ යකෝ.. මුං කවුරුත් නැද්දෝ...."
ඒ පාරනම් ලොකු අවුලක් වගේ...කිරි අම්මයි මහප්පයි කමත දිහාට ගිය නිසා මම විතරයි ගෙදර උන්නේ.
"ඇයි ඇයි ආතේ...."
"හෑහ්...හෑහ්...කොල්ලෝ...යකෝ අපේ කොල්ලො සැට් ඒක මුලතිව් අල්ලලා...ඔව් බං මුලතිව්,,, මුලතිව්."
ඒක නම් නියම නිවුස් එකක් තමයි.මගේ ඇගත් නිකං කිලිපොලා ගියා සන්තෝසෙ වැඩි කමටම..
"හැබෑද ආතෙ?බොරු එහෙම නෙමේ නේද?"
"අහවල් කෙංගෙඩියටද බොල උඹට කෙපර ඇද බාන්නේ...මේ දැං ජනාදිපති උත්තමය කතා කොරා බං"
"ඉතින් ජනාධිපති තුමා මොකද කියුවේ...."
මටත් දැන් විස්තරේ දැනගන්නකම් ඉවසුමක් නෑ...
"අපේ කොල්ලොටික එක පාරටම සුටුස් ගාලා පැනල වටේටම ගහලා ටවුමම අල්ලලා...එහෙනං....තව හැතැම්ම 15,20 කෑල්ලක් විතරයිලු අල්ලගන්න තියෙන්නේ....ඕක මොකද්දෑ...පල්ලෙහා ලියැද්ද තරංවත් නෑ බං"
ආත කෙපර විදිනව සංතෝසෙටද කොහෙද.ෆුල් පොසිටිව් තින්කින්.
"නෑ මං කිඋවේ අපේ කොලුපැටවුන්ට ඕක මේලියැද්ද තරං වත් නෑ කියලා...."
ආතාම බොරුව නිවැරදි කරා...
"පහුගිය දොහේම අපෙ පැටව් ගහපු ගැහිලි බලනකොට... මේ යුද්දෙ තවවැඩි කාලයක් හිටිනෙකක් නෑ බං. ඕං බලාපං මං හූනා කියන්නා වාගෙ කියන්නං මෙදා නිදහස් දොහේ වෙනකොටනං පුතෝ දෙකින් එකක් ඉවරයක් කොරනව..."
මටත් ඉතින් ෆුල් දේශප්‍රේමයනේ...දුන්නා ආතට විසිල් පාරක් සමගම හුරේ පාරක්.කිවුවත් වගේ මෙදා නිදහස් දිනේ සැබෑම නිදහස් දිනයක් වෙන්න කියලා හිතෙන් හිතුව...
"2007 අවුරුද්දේ උඹට මතක ඇතිනේ...මාවිල් ආරු සොරොව්ව වහං ඔකුං නටපු නාඩගම.අපේ කොල්ලො එදා දෙන්න ගත්තු බැස්ටිය ඕං මූලතිව් වෙනකම ඇවිත්.හිටහං මං මතක් කොරන්ඩ...ම්...ඉස්සෙල්ලම වාකොරේ...ඊට පහු අපේ...මේ...මාවිල් ආරුව..ඔහොම ටිකටික මුලු නැගෙනහිර පලාතම..ඔන්න පුතේ...කොටි රැල පහු බහිනවා තොප්පිගලට"
ආතා බලා හිටියා වගේ විස්තරය දෙනව...
"අපේ කොල්ලො ගැහැව්වා නොම්බර එකේ පැලෑනක්...වට කොරේ නැතෑ තොප්පිගල කැලෑවම."
මටත් කට පියා ඉන්නබැරි නිසා දැම්මා ආතට උදැල්ලක්
"ඒ දවස් වල කතාවක් තිබුනේ තොප්පිගල නම් අල්ලන්න හම්බෙන්නෙ නෑ කියලා"
"එහෙනං ඔය අල්ලුවේ...උඹත් ඔය එක එකාගෙ බේගල් මුදුනේ තියාගෙනම හිටු.එක එක අවජාතකයො කිව්වා තමයි, හතිලව්වේ...රට රාජ්ජ් වල ගොහින් ඉගෙනගත්තු උඹලත් මෙව්වා විස්වාස කොරන එකනේ වැඩේ"
ආතට අසූ හාරදාහට මල පැන ලා...
"නෑ නෑ ආතෙ..මම ඕව විශ්වාස කරන්නෙ නෑ..."
යන්තං ශේප් උනා...
"මං කිය කියා උන්නේ...ආ..ඔන්න අපේ කොලු පැටව් තොප්පිගල ඇල්ලුව....මතකද ගිය වංගියේ නිදහස් උස්සවේ තිබ්බේ තොප්පිගල පේන මානයෙ..හි...හි..ඕං ඊට පස්සේ අපෙ උං මඩු ඇල්ලුව...එතනිං පහු පුනරීන්...කොහොමද වැඩේ....ඔන්න ඊලග එක තමයි උන්ගේ මහලොකු මූලස්තානේ කියගතපු කිලිනොච්චිය....පුහ් අපේ සමහර කාලකන්නිත් උන්ව පුම්බලා තියපු තරං...දුන්නා පුතේ ඇස්ටි හැලිලා බැස්ටි බහින්නම..."
ආත දෙනව විස්තර ප්‍රචාරේ ටෝනි ග්‍රේග් වගේ...නියමයි...
"ඉතින් ඊට පහු ඇල්ලුවා අලිමංකඩ, ඉරනමඩු, ඕන් දැං මුලතිව්....කොහොමද් සිංහ පැටවුන්ගෙ වැඩ කිඩ?"
"ඇයි ආතෙ උන්ගේ ප්ලේන් තාම හම්බුනේ නැතේ..."
"ඔන්න ආයෙම කිව්වා කතාවක්...ඇයි බං අහස් යාත්තරා ඇල්ලුවේ නැති උනාට ඔය ඇල්ලුවේ ඔය කෙහෙම්මල් නවත්තන තැන් 6ක්ම...හිහ් හ්හ්...අපෙ කොල්ලන්න්ට ඕවත් වැඩද බං.අපේ එයා පොර්ස් කොල්ලො අහලකින් වත් තිබ්බෑකිද ඔය කොටි හැතිකරේ.අපෙ කොල්ලො අහස්යාත්තරා පදිනව පුතේ...නිකං විදුලිය වගේ...මේ සද්දේ ඇහෙනව.. බඩු පේන්නත් නෑ...සැටැස් ගාලා කොටින්ට ගහලත් එනව...අපේ අහස් යානා පදින කොල්ලො කහට කෝප්පේ වක් කරලා ඕක නිවෙන්න කලිං උඩහට ගිහිං කොටින්ටත් ගහලා...දකුනු ඉංදියාව පැත්තේ රවුමකුත් ගහලා...උන්ටත් කොකා පෙන්නලා එනවලු තේ එක බොන්න...ඔන්න අපෙ කොල්ලංගේ වැඩ."
(ආතා නයි දෙයියා....)
"ඇයි අපෙ නේවි කොල්ලො...නැවුම 11ක් ගිල්ලුවනෙ ඕකුන්ගේ.බලමුකෝ ඉතින් හැතැම්ම දාස් ගානක් ඈත මූදෙ ඉලක්කෙටම හරියට ගහන හැටි....මටත් නියමෙට ඉලක්කෙ ගන්න පුලුවන් පුතේ...."
"ඈ...ආතතට වෙඩි තියන්නත් පුලුවන්ද?"
"නෑ බං නෑ...කැට පොල්ලෙන්.....හිටහංකෝ කියල ඉවර වෙනකං පනින්නෙ නැතුව...බලාපං මෙච්චර දස්ස අපෙ කොල්ලන්ගේ ඔලුව අවුල් කොරන්න කී දෙනෙක් වලි කනවද?ඇන්.ජී.ඕ කාරයො එහෙන් තටමනව...උන් ගෙන් සල්ලි ගන්න අපේ දේසපාලුවො සැට් එකක් එහෙන් තටමනව...මෙච්චර කාලයක් යුද්දෙ විකුනගෙන කාපු උන්ට මේ යුද්දේ ඉවර වෙනවා පේන්න බෑ.බලපං විපස්සේ උන්ට හැමදාමත් බඩ පෙරට-රට පහුවට...තුහ් විතරක් බඩජාරී හැතිකරය.මොන අඩුපාඩුව තිබුනත් මේ වගේ වෙලාවකවත් අපේ උං ටිකවත් එකතුවෙන්ට එපායැ බං.හැබැයි පුතෝ මොන බාදකේ ආවත් අපේ කොල්ලෝ මෙදා පොටේ ඔය කොටි කියාගන්න නරි රැල ඉවරයක් කොරල සිංහල දෙමල මුස්ලිම්...එතනින් ගියාම...බර්ගර්,මැලේ...අපි ඔක්කෝටම සමගියෙන් ඉන්න පුලුවං රටක් හදනව...ඒකාන්තයි....තව බොහොම ටික දොහයි....මටත් නිදහස් රටක ඉදං ඇස්දෙක පියා ගන්න තිබුනොත් ඒ ඇති...
කතාවෙං කතාව අමතක උනා පුතේ...පිලිකන්නේ සෝක් හතු ටිකක් පිපිලා තියනව...මං කඩාගෙන එඤ්ඤං රෑ වෙන්ට කලියෙං...උඹත් ඉතින් බිම් මල් කන්න රුසියනේ...."
ආතා ගියා හතු කඩන්න...හැබෑවටම ආතාගෙ කටේ මසුරන් දාන්න ඕනි කිව්ව දෙවල් වලට....ගමේ පිටිසර ඉන්න අපේ ආතාට තේරෙන ටික අපේ සමහර දේසපාලුවන්ට නොතේරෙන ඒකනේ වැඩේ....ලබන මාසේ පඩියෙන් ආතට FM තියන අලුත් රේඩියෝවක් ගෙනත් දෙන්න ඕනි....මාත් යනවා ඇග පත ටිකක් හෝදගන්න ඇල දිහාට...

Sunday, January 25, 2009

"හදවතින් අප යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ"

මුලතිව් අවසන් කොටි බලකොටුවත් බිද හෙලූ අපේ වීර සෙබලුනි...තෙරුවන් සරණින්,සියලුම මව් වරුන්ගේ,පිය වරුන්ගේ,සොයුරු සොයුරියන්ගේ ආශිර්වාදයෙන් අපේ ආයුශද ගෙන මේ කාලකන්නි කොටි හැතිකරය අතුගා දමන්න.සටනේදී මියගිය සෙබල පුතුණි...මේ සිංහල දෙරණ සදා ඔබ ඉදිරියේ දෙදණ නමාවි...මහ පොලොව වීර ඔබ සැමට සදා ණය ගැතියි...මුලු ලක් දෙරණේ සියලුම ජනතාව ඔබ සැමට ණය ගැතියි... ජාතියේම උත්තමාචාරය ඔබටයි රණවිරුවනි...

"හදවතින් අප,
යුධ බිමේ ඔබ...
තනි කලේ නැත කිසි දිනේ"

Monday, January 19, 2009

බොලිවුඩ් උණට නියම බෙහෙත...

කොහොමද ඉතින්?හැමෝම කිසිම කරදරයක් නැතුව ඉන්නවා කියල හිතනවා.පහුගිය දවස් ටිකේ අපෙ සිංහල කියවනයේ පොඩි අවුලක් තිබුනා.දැන්නම් කිසිම අවුලක් නෑ.ඒකට මහන්සි උන මහත්තුරුන්ට බොහෝම පින්.
මට මේ ලගදි යාලුවෙක් දුන්නා නියම වෙබ් අඩවියක්.මේකෙ ඕනිම හිංදි චිත්‍රපටි ගීතයක් තියනව බාගත කරගන්න.වැඩේ සිද්ධ වෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ.මම නම් හිංදි සින්දු අහන්නෙ කලාතුරකින්.ඒත් මම හොය හොයා හිටපු පරණ හින්දි සින්දු ටිකක් මේකෙන් මට හම්බුනා.දෙයක් තනියම රස විදිනවාට වඩා සෙට් එක ඒක්කම බෙදාගෙන රස වින්දිනකොට ඒකේ කික් එක වැඩියි කියනවානේ.....(හැම දේම නෙමේ මචෝ....සමහර ඒවා විතරයි...)මෙන්න මේකයි සයිට් එක. http://www.mp3hungama.com/මේකෙ හරිම පහසු විදිහට සිංදු ඛාන්ඩ කරල තියනව, හොයාගන්න ලේසියි.කියන්න අමතක උනා මේකෙ තියනවා මේ ලගදි ජනප්‍රිය උන හිංදි චිත්‍රපටි 3ක් බාගන්න(Rab Ne Bana Di Jodi, Ghajini , Dil Kabaddi ).මම නම් බෑව.කියලා තියෙන්නෙ DVD කොපි කියලා.ඒත් තියෙන්නෙ කැමරා කොපි.ඒත් එචරම අවුලක් නෑ වගේ.ඔයාලම බලන්නකෝ.එක්කම තවත් ඒකක් හම්බුනා. http://beemp3.com/ මෙකත් මම හිතන්නෙ හිංදි සින්දු හොයන Search Engine එකක් කියලා.මේකනම් වැඩිය අවුස්සලා බැලුවෙ නෑ.ඔයාල බලලා මටත් කියන්න.කියවපු, නොකියවපු හැමෝටම ස්තුතියි.

කවුරු හරි පින්වතෙක් ඉන්නවානම් මට කියා දෙන්න, බ්ලොග් අඩවියට ආපු අය කීදෙනෙක් ද කියලා ගනින මීටරයක් මගේ බ්ලොග් එකටත් දා ගන්නේ කොහොමද කියලා...අදට මෙච්චරයි...

Saturday, January 17, 2009

සෙබලානනේ...



දැවෙන රණ බිම ගිගුම් මැද්දෙන්
පරෙවි තටු හඩ ඇසේ ඈතින්
යමව් නොනැවති ඉදිරි දැක්මෙන්
රකිනු මැණ තිසරණින් විරුවන්



මවුට සම ඇති උතුම් දෙරණේ
එක රටක්තුල දකින සිහිනේ
පිණට පුත නුඹ රුහිරු සැලුනේ
පොළොව ණය ගැති නුඹට පුතුනේ